Wednesday, July 10, 2024

භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රේම ජීවිත හා එහි ප්‍රතිඵල

බුදුන්වහන්සේ ජීවමාන සමයේ පවා අතිශය කෙළෙස්බර ජීවිත ගත කළ භික්ෂූන් සිටි බව චුල්ලවග්ග පාලියේ දැක්වේ. එහි සඳහන් පුවතක් අනුව ඇතැම් භික්ෂූහු තමන් ගිහි කල ඇළුම් කළා වූ සරාගී කතුන් සිහි කරගනිමින් ඔවුන් හා රමණය කළ අන්දමත් ඔවුන්ගේ නග්න ශරීරත් තමන් වසන කුටිවල සිතුවම් කළහ. මෙය බුදු හිමිට සැළ වූ විට උන්වහන්සේ ඒවා නුසුදුසු බවට සංඝයා ගිවිස්වාගෙන සිත සැනැසෙන ධර්මෝපදේශ සහිත ජාතක කථා පමණක් සිතුවම් කරන ලෙස දැක්වූ බව සඳහන්ය.

ලෝවාමහාපායෙහි විසූ එක් තරුණ භික්ෂූ නමක් වනයේ මල් නෙළමින් හුන් අන්තඃපුර තරුණියක් සමග පෙමින් වෙළී උනුන් හා ලෝකාස්වාද රතියෙන් සතුටු වූහ. මේ තරුණිය සද්ධාතිස්ස රජුගේ බිසවක් බව භික්ෂුව දැනගත් විට රාජ භය නිසා ඔහු තරුණියගෙන් ඈත් වූහ.

තමන්ට මේසා පෙම් කළ භික්ෂුව හමු නොවීම නිසා බිසව දිවි නසා ගත්තාය. ඒ ඇසූ භික්ෂුව ද දිවි නසා ගත්හ. මෙය දැක්වෙන්නේ අංගුත්තර නිකාය අට්ඨ කථාවේය. අන්‍යොන්‍ය ප්‍රේමය නිසා දිවි අහිමි වීම් මෙන්ම භික්ෂූත්වය අතහැර ගිහි බවට පැමිණීම පිළිබඳ පුවත් ද දැකිය හැකිය. මජ්ඣිම නිකාය අට්ඨ කථාවේ එබඳු පුවතක් සඳහන් වෙයි.

එක්තරා තරුණ යුවළක් ගිහි කාලයේ අන්‍යොන්‍ය ආදරයෙන් කල දවස ගෙවූ නමුත් කුලය පිළිබඳ ගැටලුවක් නිසා දෙමාපියන්ගේ විරුද්ධතාවට ලක්වූහ. මේ නිසා දෙදෙනා මාපිය අවසරය ද ලබාගෙන පැවිදි වූහ. එහෙත් පැවිදි ජීවිතයේදී ඔවුන්ගේ ප්‍රේමය නතර නොවීය. රුවන්වැලි සෑ මළුවේ පැවැති පිරිත් පින්කමකදී භික්ෂුව තම පෙම්වත් භික්ෂුණිය පසුපසින් වාඩිවී සිටිනු දැක ඇගේ දෙවටොර ස්පර්ශ කරන්නට වූහ. භික්ෂුණිය ද ස්පර්ශයෙන් ඇවිස්සී භික්ෂුවගේ අත රැගෙන තම පියයුරු අතර තබාගත්හ. මේ දුටු නායක තෙරනමක් භික්ෂු පිරිස නික්ම ගිය පසු මේ දෙදෙනාගේ අශ්ශීල හැසිරීම ගැන විමසූහ. ඔවුහු තම ප්‍රේම කථාව කීහ. මේ දෙදෙනා කෙරේ අනුකම්පා කළ මහස්ථවිරයෝ ඔවුන් සිවුරු හරවා ඈත ජනපදයකට පිටත් කළහ.

එබඳුම රසවත් භික්ෂු භික්ෂුණී පෙම් කථාන්තරයක් මජ්ඣිම නිකාය අට්ඨ කථාවේ දැක්වෙයි. ක්‍රිස්තු පූර්ව පළමු ශත වර්ෂයේ දුටුගැමුණු රජුගේ පාලන සමයෙහි මිරිසවැටි චෛත්‍යය මහා සංඝයාට පූජා කිරීමේ උත්සවයක් පැවැතියේය. එහිදී භික්ෂූන් සිය ගණනකට දාන මානාදිය ද සැපැයිණි. එක් කුඩා සාමනේර නමක් තමන් ලද උණුසුම් කැඳ පාත්‍රයක් අතේ තබාගෙන යමින් තද උණුසුම නිසා වරින් වර එය බිම තැබීය. ඒ දුටු ඒ වයසේම සාමනේරියක් පැමිණ සාමනේර නම කෙරේ කරුණාවෙන් තමා ළඟ ඇති ලෝහ තැටියක් ඔහුට දුන්නාය. එය ලබාගත් සාමනේර නම ළදරු සාමනේරිය ඈතට යනතුරුම ස්නේහයෙන් බලා උන්නේය.

තවත් කාලයක් ඉක්ම ගියේය. ලංකාවේ දුර්භික්ෂ කාලයක් උදාවිණි. බොහෝ භික්ෂූහු රට හැර ඉන්දියාවට ගියහ. එහි සිටි භික්ෂු පිරිස අතුරින් එක් භික්ෂුණියක් පැමිණ තවත් භික්ෂුවකගෙන් තොරතුරු විමසනවිට ඒ දෙදෙනා ඔවුනොවුන් හඳුනාගත්හ. ඒ මොහොතේම භික්ෂුවගේ ගමන් මල්ල තුළ එදා සාමනේරිය දුන් ලෝහ තැටිය ද විය. ඒ වනවිට ඔවුන් මැදිවියේ සිටිය ද උනුන් කෙරේ අනුරාගය ඇතිවී සිවුරු හැර ගිය බව දැක්වේ.

පෙම්වතුන් අතර දැඩි ඇල්මක් ඇතිවූ විට එය ඉටුකර නොගෙන මහණදම් පිරීම දුෂ්කර බව පෙනේ. මනෝ වෛද්ය D.V.J. හරිස්චන්ද්‍ර සිය Psychiatry Aspects in Jathaka Stories ග්‍රන්ථයේ මේ තත්ත්වය Aesthetic Dream හෙවත් සෞන්දර්ය සිහිනය ලෙස හඳුන්වයි. මෙය ඉටුවීම හෝ ඉටු නොවීම දෛවයට භාරවේ.