Saturday, May 11, 2024

ඉඩමක අයිතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් විය යුතු අවස්ථා

  • මියගිය අයිතිකරු විවාහක නම් හා පසු අයිතිකරු ඔහු විසින් නම් කර ඇත්නම් ඉඩමේ ජීවිත භුක්ති කරු මියගොස් මාස 6ක් ඉකුත් වීමට පෙර නම් කර ඇති අයට තම පසු අයිතිය වෙනුවෙන් ඉදිරිපත් විය හැකි ය.
  • මියගිය අයිතිකරු විවාහක නම් හා පසු අයිතිකරු ඔහු විසින් නම් කර නොමැති නම් හෝ ඔහු විසින් නම් කළ පසු අයිතිකරු මාස 6ක් ඉකුත් වීමට පෙර තම අයිතිය වෙනුවෙන් ඉදිරිපත් නො වීම නිසා එම අයිතිය අහෝසි වී ඇත්නම් ඔහුගේ මරණින් පසු පහත සඳහන් අනුපිළිවෙළින් ළඟ ම ඥාතියාට ඉඩමේ මුල් අයිතිය ඉල්ලා ඉදිරිපත් විය හැකි ය.
  1. වැඩිමහල් පුතා
  2. වයස් අනුපිළිවෙළින් සෙසු පුතුන්ට
  3. වැඩිමහල් දියණිය
  4. වයස් අනුපිළිවෙළින් සෙසු දියණියන්ට
  5. අයිතිකරු ගේ පියා
  6. අයිතිකරු ගේ මව
  7. අයිතිකරු ගේ සහෝදරයන්ට වයස් අනුපිළිවෙළින්
  8. අයිතිකරු ගේ සහෝදරියන්ට වයස් අනුපිළිවෙළින්
  9. දෙමාපියන්ගේ සහෝදරයන්ට
  10. දෙමාපියන්ගේ සහෝදරියන්ට
  11. දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ පුතුන්
  12. දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ දියණියන්
අයිතිය ලබාගැනීමට කළ යුතු දේ

පහත සඳහන් ලිපි සූදානම් කර ගත යුතු ය.
  1. ප්‍රාදේශීය ලේකම් වෙත අයිතිය ලබා දෙන ලෙස ඉල්ලුම් කිරීම
  2. මුල් අයිතිකරු ගේ මරණ සහතිකය
  3. මුල් අයිතිකරු නමට ලබා දී තිබූ ඔප්පුව, බලපත්‍රය හෝ ස්වර්ණභූමි/ජය භූමි/රන් බිම දීමනා පත්‍රයක් නම් එම දීමනා පත්‍රය - දීමනා පත්‍රයක් නම් පත් ඉරුව
  4. මුල් අයිති කරුට තම ඥාතිත්වය තහවුරු කරන සහතික (උප්පැන්න සහතික)
  5. මුල් අයිතිකරු විවාහකයෙක් නම් මුල් අයිතිකරු ගේ බිරිඳ හෝ සැමියා මියගොස් ඇත්නම් එය තහවුරු කරන මරණ සහතිකය, සෙසු උරුමකරුවන් මියගොස් ඇත්නම් ඔවුන්ගේ මරණ සහතික
  6. ග්‍රාම නිලධාරි නිර්දේශ වාර්තාව
මෙම ලියකියවිලි රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම් හමු වන්න.

සැලකිය යුතුයි!
  • මියගිය මුල් අයිතිකරු අවිවාහක නම් පසු අයිතිකරු මුල් අයිතිකරු මියගොස් මාස 6ක් ඇතුළත තම අයිතිය සඳහා ඉදිරිපත් නො වුන හොත් එම පසු අයිතිකරු ගේ අයිතිය අහෝසි වේ.
  • මියගිය මුල් අයිතිකරු විවාහක නම් ජීවිත භුක්ති කරු මියගොස් මාස 6ක් ඇතුළත නම් කර ඇති පසු අයිතිකරු තම අයිතිය සඳහා ඉදිරිපත් නො වුන හොත් එම පසු අයිතිකරු ගේ අයිතිය අහෝසි වේ.